Saturday 13 October 2012

ජෙනරේටර් ස්ටාර්ට් කෙරේ


පිටවානට මේ සිද්ධිය වුනේ මීට අවුරුදු තුනකට විතර කලින් ඩුබායි වලදී. පිටවානට වුනා කිව්වට ඇත්තටම පිටවාන හින්දා අහක හිටපු අල්ලපු රටේ දෙන්නෙකුට තමයි මේක වුනේ. අද ජනක කියන මගේ මිත්‍රයා අප්ලෝඩ් කරපු ෆේස්බුක් ස්ටේටස් එකක් නිසා ඒ සිදුවීම පිලිබඳ මතකය ආයෙත් අලුත් වුනා.

මේ සිදුවීම වුනේ ඩී.අයි.පී  එහෙමත් නැත්නම් ඩුබායි ඉන්වෙස්ට්මන්ට් පාර්ක් වල තිබුණු වැඩබිමකදී. ඩී.අයි.පී තියෙන්නේ ඩුබායි ඉඳලා ජබෙල් අලි ආයෝජන කලාපයට යන පාරේ. ඩුබායි වල ඉන්න අපේ මිත්‍රයෝ දන්නවා ඒගැන ටක්කෙටම කියන්න.ඉතින් පිටවාන ඒ දවස්වල රැකියාව කලේ  මිට්සුබිෂි සමාගමේ ඩුබායි නියෝජිතායතනයේ. මිට්සුබිෂි කිව්වට ඇස්ටන් මාර්ටින්, බෙන්ලි ( බයිසිමොටෝ නොවෙයි හොඳේ ) ගොල්ෆර්  කියන වර්ග වල අලෙවිනියෝජිතයා වුනෙත් අදාළ සමාගමම තමයි. වැල් වටාරම් තියලා අපි කතාවට හැරෙමුකො.

ඩුබායි වල තියෙන හැම සමාගමකම වගේ මේ කියන සමාගමේත් ඉහල පුටු ඔක්කොම ඉතින් අල්ලපු රටේ උදවිය තමයි අල්ලාගෙන ඉන්නේ. අල්ලපු රටේ කිව්වට විශේෂයෙන් කේරලයේ උදවිය. අපේ අය මලයො කියන  කෙටි හැඳින්වීම යොදාගන්නෙත් ඒ අයව හඳුන්වන්නම තමයි.ඉතින් උන්දලා කරන්නේ සියරට දේ සිරිසැප දේ කියලා අල්ලපුරටේ ඉන්න ඔක්කොම ගෙනත් අදාළ ආයතන  පුරවන එක විතරයි. මොකද අතින් පයින් යනවා කියලායැ. පිටවාන සේවය කරපු සමාගමටත් ඔය විදියට ගෙනත් දාල හිටපු ඩබලක් හිටියා.පට්ට මෝඩයි. ගොන් බඳින කණු දෙකක් කිව්වොත් ඒක කණු වලට කරන අපහාසයක්. එ තරමට මේ ඩබල බුද්ධිමත්.කොටින්ම නාඩි වැටෙනවා විතරද මංදා. මේ ඩබලගෙන් එකෙක් මුස්තාෆා. අනිකා ලතීෆ්. (සම්පුර්න නම් නෙවෙයි හොඳේ. ඒවා කියවන්න ගිහින් හක්ක පන්නගන්න ඕනෙත් නෑනේ ඔයාලාට.) මේ දෙන්න අයත් වෙලා හිටියේ නඩත්තු සහ පරීක්ෂක කණ්ඩායමට. විදුලි පහන්, වතුර ලයින් වගේ දේවල් පරීක්ෂා කරලා අඩුපාඩුවක් තියෙනවනම් සකස් කරන ඒක තමයි මේ නඩත්තු සහ පරීක්ෂක කණ්ඩායමේ  රාජකාරිය වුනේ.

මේ  සිද්ධිය වුනු දවසේ පිටවාන වර්ක් ෂොප් එකෙන්  එළියේ අලුතෙන් හදන ගොඩනැගිල්ලක  වැඩක් කර කර ඉද්දි එතනට විදුලි සැපයුමක් උවමනා වුනු නිසා නඩත්තු අංශයට ඇමතුමක් දුන්නාම කිලෝවොට් පහක් ජෙනරේටරයක් එක්ක නඩත්තු අංශයෙන්  එවලා තිබ්බේ මේ ජෝඩුව තමයි.අලුතෙන් හදාගෙන යන ගොඩනැගිල්ලේ කොට බිත්තියෙන් එහා පැත්තේ ඉඳගෙන හම්බෙන්නත් කලින්ම සමුගන්න ලෑස්තිවෙලා බායි බායි කියන මේ ජෝඩුව දැක්කාම පිටවානට හීන් දාඩිය දැම්මේ වෙන මුකුත් නිසා නෙවෙයි, මුන් දෙන්නගේ වැඩෙත් පිටවානෙන්ම පිටවෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නා නිසයි. එ නිසාම මෙහා පැත්තේ තිබුණු  විදුලි  කේබලය කොට බිත්තියෙන් එපිටට විසි කරලා මුස්තෆාට කිව්වා ඒක ජෙනරේටරයට සම්බන්ධ කරලා  ස්ටාර්ට් කරපන් කියලා. මෙන්න එ ගමන ඌ කට හොඳට උල්කරලා එහෙම කියනවා,


"බායි, මාෆි බැටරි මාෆි ස්ටාර්ට්" කියලා

පිටවානට ඒක ඇහුවාම අසූ හාරදාහට තද වුනා. ඇයි යකෝ මුන් දෙන්නව දිවියා කන්ට  මීටර පන්සීයක් විතර දුර ඉඳන් ජෙනිය අරන් ඇවිල්ල තියෙන්නේ මෝටරය වදින්නේ නෑ බැටරිය බැහැලා කියලා දැන දැනමනේ.කේන්තිය දවල් කෑම වෙලාවත් කිට්ටු වේගන එන එකේ කේන්තිය පිටම පිටවාන කලේ අරුන් දෙන්නට තල්ලුකරලා හරි ස්ටාට් කරපියව් කියලා කිව්ව එක.ඒ ගමන ලතීෆ් අහනවා මේක කොහොමද තල්ලු කරලා ස්ටාර්ට් කරන්නේ කියලා. තල්ලු කරන ගමන්ම මෝටරෙත් ගහපන් කියලා කේන්තිය පිටම කියපු පිටවාන කරකර හිටපු වැඩේට අවධානය යොමු කලා. විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ මුස්තාෆා විතරක් හති හල හල ඇවිත් කියනවා

"බායි, මාෆි ස්ටාර්ට්"   කියලා

කෝ අනිකා කියලා බලන්න කොට බිත්තියෙන් එල්යට ඔලුව දාපු පිටවාන දැක්කේ කාස්ටක අවුවේ මීටර් දෙතුන්සීයක් ඈත ජෙනිය උඩට වෙලා ඉඳගෙන ඉන්න ලතීෆ්ව.

No comments:

Post a Comment