Friday 19 October 2012

අමර ලන්තයේ අමර බදු


අමර හින්ද  අමරපක්ෂ  මැතිතුමා රාජ්ජය විචාරන අමරලන්තය වනාහි  මේ අපගේ සිරි දේශය මෙන් පසික්කාටු දේශයක් නොවේ. මීට වසර හතකට පමණ පෙර සංවර්ධනයේ පහලම අඩවියේ තිබුණු අමර ලන්තය අමර හින්ද අමරපක්ෂ මැතිතුමාගේ පැමිණීමත් සමඟම සීඝ්‍ර දියුණුවකට පත්වී ඇත.කොටින්ම අමර ලන්තය වනාහි අමරාසියාවේ ආශ්චර්යයි.

 හදිසි රාජකාරි කටයුත්තක් සඳහා   මීට ටික දිනකට පමණ පෙර අමරලන්තයට ගිය මා හට ඇස් අදහාගත නොහැකි වූයේ මීට වසර කිහිපයකට පෙර එනම් 2005 වසරේ මා අමරලන්තයේ සංචාරයක නිරත වෙද්දී දුටු දසුන් තවමත් මතකයේ සටහන්ව ඇති බැවිනි.  එකල අඳුරේ ගිලුණු අමරවීදී අද විසිහතර පැයේම නා නා පැහැති විදුලි බුබුළු වලින් අලංකාර වී තිබෙන බැවින් එයට හේතුව සොයා බැලූ මට දැනගන්නට ලැබුනේ අමරලන්තයට නැගෙනහිරින් වූ දෑකැති සහ මිටි නිෂ්පාදනයෙන් ධනවත් වුනු රටක් විසින් සීයට තුනේ පොලියට අමර හින්ද තුමාට තෑග්ගක් ලෙස දුන් විදුලි බලාගාරයක් එයට හේතුභූත වී ඇති බවයි. ධන ධාන්‍යයෙන් පිරී ඉතිරෙන බැවින් දැන් එහි හිඟන්නෙක් අධ්‍යාපන කටයුත්තක් සඳහාවත් සොයාගත නොහැකි වී ඇත.සියල්ලෝම සතුටින් සාමයෙන් ජීවත් වෙන බැවින් මෙයට හේතුව සොයා බැලූ මට පෙනී ගියේ  අමරලන්තයේ සශ්‍රීක බවට හේතුව වී තිබෙන්නේ අමරාර්ථික ධනපාල සෘණසේකර මැතිතුමාගේ විස්මිත බදු ප්‍රතිපත්තිය බවයි. දුප්පත් කමින් පීඩා විඳින සිරිදේසේ වැසියන්ගේ හිත සනසවා ගැනීම පිණිසත් සිරිපාලලාගේ අවධානය යොමු කිරීම පිණිසත් එම බදු වලින් කොටසක්  ඔබ හමුවේ තබන්නට අදහස් කල අතර සිරිපාලලාට උවමනානම් මේ බදු ක්‍රම අත්හදා බැලුවාට මගේ අකමැත්තක් නොමැති අතර කතෘ භාග නොඉල්ලන බවටත් සහතික වෙමි.

අමරලන්තයට අදායම් ලැබෙන බදු අතර ප්‍රධාන බද්ද වන්නේ විවාහක පුරුෂයින් සඳහා වන විනෝද බද්දයි. එනම් සතියකට දෙවතාවකට වඩා සිය විවාහක බිරිඳ සමඟ සංසර්ගයේ යෙදෙන පුරුෂයින් ඒ සඳහා බද්දක් අමරලන්ත රජයට ගෙවිය යුතුය. ඒ සඳහා විශේෂයෙන් පත් කල නිලධාරීන් අමරලන්ත රජයට නොමැති අතර බදු නිලධාරියාගේ කාර්යය කිරීම අමරලන්ත රජය විසින් අදාළ පුරුෂයාගේ බිරිඳට පවර ඇති අතර අය කරන බදු මුදලින් කොටසක් ප්‍රසාද දීමනා ලෙස බිරිඳට ගෙවන අතර ආදායම් ඉලක්ක ඉක්මවාලන බිරින්දෑවරුන් සඳහා අතිරේක දීමනා ලබා දීම මගින් බදු ව්‍යුහය කාර්යක්ෂම කිරීමට අමරලන්ත රජය කටයුතු යොදා ඇති අතර මෙම බද්ද මගින් උපයන සියලු මුදල් නැව්නොඑන වරායන් වලට නැව්  ගෙන්වා ගැනීම වැනි සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගනු ලැබේ.

අමරලන්තයේ  සීඝ්‍ර සංවර්ධනයට හේතු වුනු අනෙක් බද්ද වන්නේ පුනර්ජනනීය ආදායම් සංවර්ධන බද්දයි. එනම් ගණිකා වෘතිය වැනි කිසිදු ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන වෘත්තීන් සඳහා ලබා දෙන සහනයන්ය.ඒ සඳහා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන අතර ආදායම් ලබන්නන් විසින් සිය ආදායමෙන් 20% උපයන විට ගෙවීමේ බද්ද වශයෙන් ගෙවිය යුතුය.අමරලන්තයේ අවිවාහක තරුණයින් ඇත යහමින් මුදල් ගැවසෙන බැවින් අමරලන්ත රජය සැලකිය යුතු මුදලක් බදු වශයෙන් උපයන අතර ඉන් හෙජින් වැනි ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

මීට කලකට පෙර මහත් ආර්ථික ප්‍රශ්න වලින් බැට කෑ අමරලන්තයේ කිරි ගොවීන් අද සුපිරි ධන කුවේරයින් වී සිටිනු දුටු මට ඇස් අදහා ගත නොහැකි විය. කිරි ගොවීන් මෙලෙස ධනවත් වීමට හේතුව කිරි ගොවියා නගා සිටීමේ අරමුණින් පැනවූ තන බද්දයි. එනම් මාස තුනකට වඩා වැඩියෙන් මව් කිරි බොන අමරලන්ත දරුවන් වෙනුවෙන් බදු මුදලක් මාසිකව අමරලන්ත රජය විසින් මව් වරුන්ගෙන් ඇය කරගනු ලබන අතර ඉන් ලැබෙන මුදල් කිරි නිෂ්පාදනයේදී අපතේ යවන කිරි වෙනුවට වන්දි මුදල් ලෙස කිරි ගොවීන්ට ලබා දෙනු ලැබේ.

මීට අමතරව පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමේ අරමුණින් සියලු පුද්ගලයින් විසින් ජාතික මලපහ බද්ද ගෙවිය යුතු අතර ඉන් අමරලන්ත රජයේ ඇමති මණ්ඩලය නඩත්තු කරනු ලැබේ. තවත් අතුරු බදු ගණනාවක් අමරලන්ත රජය විසින් පනවා ඇති නමුත් සිරි දේශය අමරලන්තය වැනි විශාල රටක් නොවන බැවින් ඉහත කී බදු තුන පනවා නිසි පරිදි පවත්වාගෙන යාම මගින් පමණක් රට සුඛිත මුදිත කල හැකි බව මගේ අදහසයි.

එබැවින් ළිං වලින් බදු අයකර ගැනීම වැනි අවම අදායම් ලැබෙන බදු ක්‍රම ක්‍රියාත්මක කරනවාට වඩා මෙවැනි බදු ක්‍රම ක්‍රියාත්මක කිරීම මගින් ඉතා ඉක්මනින් සිරි දේශයත් අමරලන්තය මෙන් දියුණු රටක් බවට පත් කල හැකි  බැවින් මෙය සිරිපාලලාගේ අවධානය පිණිස යොමු කරමි. නමුත් එදිනට  සිරිදේශයේ වැසියන්ට ජීවන බර ඉසිලීම සඳහා වූ ඔලිම්පික් පදක්කම අහිමිවන එකනම් සිකුරුය.

4 comments:

  1. අමරලන්තයට අජරාමර නිවන් සුව !

    ReplyDelete
    Replies
    1. පාංශුකූලෙත් දීලම ඉම්මු එහෙනම්.

      Delete
  2. අම්මෝ මට නම් බර වැඩිද මන්ද මේ ලියවිලි.. :)

    ReplyDelete
  3. අනේ බං, මේක අපේ මුදල් ඇමතිට එහෙම පේන්න තියන්න එපා. ඌත් මේ බදු ගහන්න පටන් ගනියි.
    කමතෙන් දැකලයි ආවෙ. දිගටම ලියමු මචං. ජය වේවා !

    ReplyDelete