Monday 8 October 2012

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුව මනෝරම වීරසිංහ ඇතුළු ෆේස් බුක් කණ්ඩායම බව තහවුරු වේ.


                   ඊයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පවතී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුව මනෝරම වීරසිංහ ප්‍රධාන  ෆේස් බුක් කණ්ඩායමක් බව ඒ පිළිබඳව පත්කළ කමිටුව විසින් තහවුරු කර ඇත. ලෝක කුසලාන තරඟාවලිය පැවති වකවානුවේ ෆේස් බුක් වෙබ් අඩවිය තුල අදාළ  කණ්ඩායම විසින් පලකල සංස්කරණය කල චායාරූප සහ අප්ලෝඩ් කල ස්ටේටස් පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව අදාළ  කමිටුව සිය වාර්තාව එළිදක්වා තිබේ.

                     ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඇතුළු කණ්ඩායමටද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නයාට අඳු කොළ මෙන් බව සක් සුදක් සේ දන්නා මේ කණ්ඩායම මුල සිටම ජනාධිපතිවරයා අවසන් පූර්ව තරඟය සහ අවසන් තරඟය නැරඹීමට පැමිණීම වැලැක්වීම සඳහා  අනන්ත අප්‍රමාන කැප කිරීමක් කල බව මේ වනවිට ලොවටම රහසක් නොවේ. ඒ දන්දහා ඔවුන් දහස් ගණනක් වූ සංස්කරණය කල චායාරූප සහ මිලියන ගණනක් ස්ටේටස් අප්ලෝඩ් කරන ලදී.මේ පිළිබඳව අප්‍රමාන සතුටට පත් මහේල ඇතුළු කණ්ඩායම තමන්ගේ හිස මත වූ මහා බර පසෙක ලා අවසන් තරඟයත් ජයගෙන ලෝක කුසලාන කිරුල අප සතු කර දීමට පිඹුරුපත් සකස් කරන ලදී. කොටින්ම ඔවුන් අවසන් තරඟයට  යනවිට රටේ ජනාධිපතිවරයා සහමුලින්ම අමතක කර දැමූ බැවින් ඔහු කණ්ඩායම මත ඇති කල පීඩනය ශුන්‍යයටත් වඩා පහල බැස තිබුණි. කොටිම ආර් ප්‍රේමදාස තණතීරුවේ  දිවා රාත්‍රී තරඟවල දෙවැනි වර පන්දුවට පහර දුන් කණ්ඩායම පරාජය වීමේ සම්භාවිතාවය 80% ඉක්මවා තිබුනත් ඔවුන් එය ගණනකට ගත්තේද නැත. මනෝරම ඇතුළු කණ්ඩායමට පින් දෙමින් පිටියට බට ඔවුන් කොතරම් තරඟයට අවතීර්ණ වුනාද කියතොත්  ලෝකයේ සුපිරිතම විස්සයි විස්ස පිතිකරුවා වන ක්‍රිස් ගේල් පවා අන්දමන්ද කරවමින් එල්ලකළ පන්දු ප්‍රහාරය හමුවේ කොදෙව් කණ්ඩායමට තමන් අදහන දෙවියෙකු සිහිකර ගැනීම හැර වෙනත් විකල්පයක් නොවීය. ආක්‍රමණශීලී ලෙස සකස් කල පිටියේ පන්දුවට පහරදීම කොතරම් අසීරුද යත් විටෙක කොදෙව් ලකුණු පුවරුවේ ලකුණු ලබාගැනීමේ වේගය 0.67 වශයෙන්ද සටහන් විය. පන්දු යවන්නන් යාර තිහේ සීමාව ඇතුලේ රඳවා තිබෙන පවර්ප්ලේ ඕවර හය තුල පවා කොදෙව්වෝ ලබා සිටියේ  කඩුලු දෙකකට ලකුණු 14 ක් පමණ වන අතර එය ලෝක කුසලාන තරඟාවලියේ පවර්ප්ලේ අවස්ථාවේ කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු ප්‍රමාණය බවට වාර්තා විය.

                        කෙසේ නමුත් ශ්‍රීලංකා කණ්ඩායමේ අවාසනාවන්ත මොහොත එළඹුණේ ලසිත් මාලිංග  විසින් යැවූ දෙවන පන්දුවාරයේදීය.පළමු පන්දුවාරය ලකුණු හතරකට සීමා කල ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා පාඩු යැවීමට සැරසී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පතමින් ඔල්වරසන් දෙන තිස්පන්දහසකට අධික  ප්‍රේක්ෂකයින්ගෙන් පිරුණු ප්‍රේක්ෂකාගාරය වටා නෙත් යොමු කරන අතරේ සුවිශේෂී පුද්ගලයන් සඳහාම වෙන් වුනු වී.අයි.පී කුටියේ හිඳිමින් තරන්හය නරඹන පුද්ගලයෙක් අසල ඔහුගේ දෙනෙත් නතර වී ඇත.එක එල්ලේම හඳුනා නොගත් නමුත් ස්වකීය චිත්ත සන්තාපයේ ඇතිවුණු සැකයක සේයාවක් නිසා යලිත් ඔහු දෙස බලූ මාලිංගගේ සියොලඟම දහදියෙන් තෙත් විය.තමන් දෙස බලමින් සිනාමුසු මුහුණෙන් තරඟය නරඹන අමුත්තා දුටු මාලිංගට උන් හිටි තැන් අමතක විය.
      
                 
                      ඔහු අන් කවරෙක්වත් නොව .ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂය . මහින්ද රාජපක්ෂ හෙවත් කව්රුත් දන්නා මහින්දයාය.

                      බලාපොරොත්තු නොවුණු මොහොතක හිස මත කඩා වැටුණු හෙනගෙඩියෙන් අන්දමන්ද වුනු මාලිංග ක්‍රියාත්මක කල එම ඕවරයෙන් කොදෙව් පිතිකරුවන් ලකුණු 21 ක් උදුරාගත් අතර එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ගලග්‍රහණයෙන් ගෙන තිබුණු තරඟය ගිලිහීම ආරම්භ විය.ඕවරය අවසානයේ මාලිංග වෙත පැමිණි ශ්‍රීලංකා නායකයාට මේ අසුභ දායක පුවත මාලිංග විසින් පැවසීම නිසා සිද්ධිය ලැව් ගින්නක් සේ කණ්ඩායම පුරා පැතිර යාමට මහා වෙලාවක් ගත්තේ නැත.අවසාන ප්‍රතිඵලය වුනේ අන්ත අසරණව සිටි කොදෙව්වෝ ආර්.ප්‍රේමදාස තණතීරුව තුල සැනසිලිසහගත ලකුණු ප්‍රමාණයක් වන ලකුණු 138 ලබා ගැනීමයි.

                      කෙසේ හෝ කිරුල තමන් සතු කරගැනීමේ බලාපොරොත්තුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් මහින්ද රාජපක්ෂව වඩාත්ම ප්‍රිය කරන තිලකරත්න ඩිල්ශාන් ලකුණු නොලබාම දැවී ගියේ මහින්ද විසින් ඔහු මත ඇතිකළ පීඩනයේ තරම ලොවටම කියාපාමිනි.මේ තත්වයට යම් තරමකින් හෝ සිය අත්දැකීම්  සහ පලපුරුද්ද උපයෝගී කරගනිමින් ක්‍රීඩා කල මහේල සහ සංගාත් අවසන මහින්ද විසින් ඇතිකළ තත්වයට ගොදුරු වී ක්‍රීඩාගාරයට ගිය අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මැතිව්ස්,ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරාත්  ලහිරු තිරිමාන්නත් කණ්ඩායමට එක්කළේ පිලිවෙලින් ලකුණු 01,03,03,04 පමණි. මහින්ද රාජපක්ෂට පක්ෂපාතී නුවන් කුලසේකර පන්දු 13 ක් තුල ලකුණු 26 ක් එක්කලත් ඔහුගේ ගමන නතර කිරීමට නරේන් සමත්වුනේ කොදෙව්වන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලබාගත් එකම කඩුල්ල බවට එය පත්කරගනිමිනි. ඉන් අනතුරුව ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස්ද  රාජපක්ෂ භීතිකාවට ගොදුරු වුනු බැවින් වසර 33 කට පසූ කොදෙව්වන්ට ලෝක කුසලානයක පහස තමන් සතු කරගන්නට හැකි විය.

                        අත්දැකීම් බහුල පිතිකරුවෝ සියල්ල මහින්ද රාජපක්ෂ භීතිකාවට ගොදුරු වෙද්දී ලාබාල කොලු ගැටයෙකුවූ අකිල ධනංජය ඉතාමත් දක්ෂ ලෙස පන්දු යවමින්, පන්දු රකිමින් නරඹන්නන් ප්‍රමෝදයට පත් කල අතර ශ්‍රී ලංකා ඉනිම අවසානයේ නොදැවී සිටි එකම පිතිකරුවා වෙන්නටද ඔහු සමත් විය. ඒ ගැන වැඩිදුර සොයා බැලූ විශේෂ කොමිසමට දැනගන්නට ලැබුනේ ඔහු යන්තම් දහ අටවන වියට පෑ තැබූ කොලුගැටයෙක් බැවින් තවමත් ඔහුගේ නම ඡන්දදායක ලැයිස්තුවට ඇතුලත් වී නැති බවත් එනිසාම ඔහුට රාජපක්ෂ භීතිකාවෙන් හානියක් නොවූ බවත්ය.
                     
                         අවසන තිස්පන්දහසකට අධික ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සුසුම් අතරින් කොදෙව්වෝ ලෝක කුසලානයේ උරුමය තමන් සතු කරගත් අතර ඔවුන් පෑ මනහර රැඟුම යම් තරමකට ක්‍රීඩා ලෝලීන්ගේ කනස්සල්ල යටපත් කරමින් සිනහ උපදවන්නට සමත් විය.ශ්‍රීලංකා කණ්ඩායමේ පරාජයට හේතුව  මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අවසන් තරඟය නැරඹීමට නොපැමිණෙනු ඇති බවට ක්‍රීඩකයින් අධි තක්සේරු කිරීමයි. ඒ නිසා ඔවුන් ඔහුව අමතක කර දැමීමත් නොසිතූ මොහොතක ජනපති තරඟය නැරඹීමට පැමිණීම නිසා ක්‍රීඩකයින් තුල ඇතිවුණු ක්ෂණික කම්පනය හේතුවෙන්  තරඟය කෙරෙහි වූ අවධානය ගිලිහී යාම බවත් එයට වගකිව යුත්තේ  ක්‍රීඩකයින් තුල ජනපතිවරයා නොපැමිණෙන බවට අධි තක්සේරුවක් ඇති කල මනෝරම වීරසිංහ ඇතුළු ෆේස්බුක් කණ්ඩායම බවට කමිටු වාර්තාවෙන් තහවුරු කර ඇත.

                

                         ( බුද්ධිමත්කම යනු උගත්කම සහ  ජීවිතයෙන් ලත් අත්දැකීම්  ප්‍රයෝගික භාවිතාවේදී දක්වන නිපුනතාවය බවට යලිත් වරක් අපට පෙන්වීමට මේ පරාජය ඉවහල් වූ බව අවසානයේදී සටහන් කරනු කැමැත්තෙමි.)

5 comments:

  1. නියමයි ඈ.............සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මනෝ.ඒත් බලහන් උඹ කරපු අසමජ්ජාති වැඩේ? ඩොලර් මිලියන 1.2 ක් ම වතුරේ ගියානේ

      Delete
  2. මමත් මුළ ඉදලම කිව්වේ ඕකට වග කියන්න ඕන මනෝරමයා කියල. නියම ලිපිය මචෝ...

    ReplyDelete
  3. තැන්කුයි හොඳේ.

    ReplyDelete
  4. වැඩේ සවුත්තුයි. මනෝරමයගෙන් අහපං ඌම කට කපාගන්නවද, නැත්තං හෙට උදේ අටට විතර සර්ජන්ල එවන්ඩද කියලා?

    ReplyDelete