මේ වනවිට අප සාක්ෂරතාව අතින් ආසියානු කලාපයේ ඉතාමත් ඉහල තලයක වැජඹෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන නමුත් ලියන්නට කියවන්නට හැකි නමුත් චින්තනයක් නොමැති පරිකල්පන ශක්තියක් නොමැති සමාජ පද්ධතියක් සහිත රටක් වීම ගැන කතා කිරීම බීරි අලින්ට කරන වීනා වැයීමක් වන නමුදු බීරි අලින්ට ගයන වෙණ ලිපි මාලාවේ මුල්ම අංගය ලෙස අපේ රටේ පවතින විකෘති අංගවිකල අධ්‍යාපන පද්ධතිය ගැන කතා කිරීමට තෝරා ගත්තේ රටක ඉදිරි ගමනට, යහ පැවැත්මට බලපාන සාධක අතුරින් මූලික සාධකය එය බැවිනි.
වර්ෂ 1944 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කොට 1945 දී සම්මත කරගැනීමෙන් උපන් නිදහස් අධ්‍යාපනය නමැති ළදරුවා මේ වන විට හැටනව වියැති මහල්ලෙක් බැවින් ඕනෑම දෙයකට පොදු ධර්මතාවය වන කාලයත් සමඟ වියපත්ව ජරාජීර්ණව කලින් කලට යෙදූ සංශෝධන නම් පැලැස්තර වලින් අවලස්සන සිරුරක් සහිතව වුවද යම් තරමක සුවෙන් පසුවීම රට වැසි ජනතාවගේ හිත සුව පිණිසම වන නමුදු කාලයට සාපේක්ෂව යාවත්කාලීන නොවීම නිසා අද එම යාන්ත්‍රනය මගින් බිහි කරන ප්‍රතිපලය ලිවීමට කියවීමට හැකි නමුදු චින්තනයක් රහිත නිර්මාණශීලීත්වයක් රහිත පිරිසක් වීමනම් කිසිවෙකුගේ හිත සුව පිණිස නොවන බව පැවසිය යුතිය.
රටක ඉදිරිගමනට සංවර්ධනයට මූලික අඩිතාලම වන අධ්‍යාපන පද්ධතිය මෙලෙස ව්‍යාකූල වීම හරහා පන නගින අතුරුආබාධ වලට මූලික හේතුවට පිළියම් යොදනවා වෙනුවට පැලැස්තර විසඳුම් වල සරණ යාම තුලින් අප අද ඉන්නා තැනටත් වඩා ඉතාමත් අවදානම්සහගත සහගත තත්වයක පෙරනිමිති පහල වෙමින් පවතින අතර රටකට අවශ්‍යකරන උගතුන්, බුද්ධිමතුන් වෘත්තිකයින් සැලැස්මක් සහිතව බිහිකර ගැනීම වෙනුවට එපාවාහෙට හොදි බෙදනවාක් මෙන් ඔහේ කිරීම මගින් අසරණ වන්නේ රටේ දියුණුව වෙනුවෙන් කැපවිය යුතු කැපවිය හැකි මානවසම්පතේ වර්තමාන පුරුක් බව රට කරවන ඇත්තන්ට මෙන්ම අදාළ ආයතනවල උසස් පුටු හොබවන ඇත්තන්ට වගේ වගක් නැත. ඒවා ඔවුන්ට දැනෙන්නෙත් නැත. එයට හේතුව ඔවුන්ද මෙම අවුට්ඩෙට් අධ්‍යාපන පියාට දාව උපන් නොමේරූ දරුවන් වීම ඇරෙන්නට වෙනත් කාරනාවක් නොවේ.
2012 වසරේ අධ්‍යාපන අමාත්‍යංශ සංඛ්‍යාලේඛන වලට අනුව දිවයින පුරා පවතින පාසල් 10118 ක් ( මෙයින් 217 වැසී ගිය පාසල් බව සැලකුව මනාය ) තුල ඉගෙනුම ලබන දූ දරුවන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 40 ක් වන අතර එම වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව හයලක්ෂ දෙදහසක් වන අතර ඉන් උසස්පෙළ සඳහා ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සුදුසුකම් ලබා ඇති අතර එයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ විසිදහසක් පමණ පිරිසක් වීම මෙහි ඇති ලොකුම පරස්පරයයි. කොටින්ම අපට ඇත්තේ ශිෂ්‍යත්වයෙන් සෝවාන්ව සාපෙලින් සකෘදාගාමීව උසස්පෙළින් අනාගාමීව විශ්ව විද්‍යාලයෙන් නිවන් දක්කවන අධ්‍යාපනයකි.නිවන ලබාගැනීමෙන් සියල්ල නිමාවේ යන පදනමින් කටයුතු කලත් ආශා ප්‍රහීන කල නිවන්ලාභියෝ මුදාහරින්නේ රුපියල් ශත මූලික කරගත් විෂම ලෝකයකට වීම මහත් අභාග්‍යයකි. රජය විසින් නොමිලේ ලබාදෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන්වැය කල හැකි මුදල සීමිත බැවින් උසස්පෙළ නමැති සියුම් සිදුරු සහිත ෆිල්ටරය භාවිතා කිරීම ප්‍රශ්නයක් නොවන නමුත් රටේ අධ්‍යාපනය නමැති දේහය සා පෙලට සාපේක්ෂව 3.5% වීමත් උසස්පෙළට සාපේක්ෂව 7% වඩා අඩු අගයක පැවතීම කුණුහරුපයක් මිස වෙන කවරක්ද? කොටින්ම කියනවානම් රටේ සමස්ථ සිසු පරපුරට ඉඳිකටු සිදුරකින් එතෙරවීම වැනි අසීරු ඉලක්කයක් ලබාදී සාපෙලින් සහ උසස්පෙළින් හැලෙන 93% ගැන ඇස් කන් වසාගෙන ඔහේ සිටීම මේ රටේ අනාගතය භාර ගැනීමට සිටිනා පරපුරට කරන බලවත් අසාධාරණයක් නොවේද?
මහා කුණුහරපය නොහොත් අධ්‍යාපන දේහයේ සැකැස්ම සහ එහි ඉලක්ක තුලින් පෙරාගන්නා අමෘතයටත් වඩා මහඟු සම්පත තුලද වඳුරුකුනුහරුපද බොහොමයකි. උසස් අධ්‍යාපනයෙන් බිහිකරන උපාධිධරයා නමැති නිෂ්පාදනය කල් ඉකුත්වුණු එකක් වීම හෙවත් වර්තමාන ලෝකය සමඟ නොපෑහීම එයින් ප්‍රධානම කාරණයයි. ගණිත, විද්‍යා වාණිජ සහ කලා උපාධි පාඨමාලාවන්හි සංයුතිය සහ අන්තර්ගතය තුලින් නිර්මාණය වන එවැනි වඳුරු කුණුහරුප බොහොමයකින් ගණිත,විද්‍යා සහ වාණිජ උපාධිපාඨමාලා යම් තරමකට නිදහස් වන නමුදු නියර මිටි තැනින් වතුර ගලන්නාක් මෙන් සියලු දෝෂ කලා උපාධිපාඨමාලා තුලින් කලා උපාධිධරයාට සංක්‍රමණය වීම වහාම නැවැත්වියයුතු නැවැත්විය හැකි කාරනාවකි. කලාවට හුරු සිත කැලෑවට යනු නැත යන්න අතීතයේ සිට පැවතෙන කියමනක් වන අතර එය අද දිනටද වලංගුය. කලාවට හුරු සිතැති කළා උපාධිධරයෝ විශ්ව විද්‍යාලයෙන් අනතුරුව රැකියා දියව් යන සටන්පාඨය අතැතිව එන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටටය. එතැන කැලෑවක් තබා තණකොළ ගහක් සොයාගනීමද කළුනික සොයනවාටත් වඩා අසීරු කාරණාවක් බැවින් සියල්ල වෙනස්වන ලෝකයේ එම කියමන පමණක් ඉන්ද්‍රඛීලයක් සේ අදද නොවෙනස්ව පවතී.
මේ සියලු අඩු ලුහුඬුකම් වෙනස්කලයුතු වෙනස්කල හැකි කාරනා වන අතර අවශ්‍ය වන්නේ ඕනෑකම පමණි. නමුත් ජාතියේ අවාසනාවට නැත්තේත් එයමය. යල් පැනගිය අධ්‍යාපන පනතට පැලැස්තර වෙනුවට නව පනතක් ගෙන ඒම හැකි ඉක්මනින් කල යුතු අතර එහි ඉලක්කයන් අදට ගැලපෙන සේ සකස්කළ යුතුය. 7 % ඉලක්කය වෙනුවට අමතක කල අමතක වුනු ඉතිරි 93% මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් තුල රටට අවශ්‍ය සම්පත් අධ්‍යාපනය තුලින් බිහිකරගත යුතු අතර කටපාඩම් විභාග සම්ප්‍රධායය වෙනුවට ප්‍රයෝගිකත්වය මත පදනම් වුනු විභාග සම්ප්‍රධායයක් තුලට කඩිනමින් ගමන් කල යුතුය.උසස්පෙළ නමැති ෆිල්ටරයෙන් පෙරී එන දැයේ සම්පත වඩාත් ඵලදායී ලෙස ලෝකයට මුහු කරනු වස් විශේෂයෙන් කලා උපාධිපාඨමාලාවන් තුලට වෘත්තීයමට්ටමේ නිපුපුනතාවයන් ලබාදෙන විෂයයන් එන්නත් කල යුතුය.එයට සිසු දරුවන් හුරුකිරීම සඳහා අඩුම තරමේ අට වසරේ සිටවත් වෘත්තීය කුසලතාවයන් වැඩිදියුණු කිරීම පාදක කරගත් විෂයයන් හඳුන්වා දිය යුතු අතර අතර මගදී පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සිසුන් එලෙස ලබාදුන් වෘත්තීයමූලික ක්ෂේත්‍ර තුලට අන්තර්ග්‍රහණය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරිභාහිරව ඇති තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනආයතන අධ්‍යාපන අමාත්‍යංශය හා සෘජුව සම්බන්ධ කල යුතුය. මීට වසර තිහකටවත් පෙර අධ්‍යාපන විෂයමාලාවන් තුලට ඇතුල් කලයුතු රැකියා අංශයේ පැතිරුණු වපසරියක් සහිත තාක්ෂණ විෂයය පමාවී හෝ අධ්‍යාපනය තුලට ඇතුළු කිරීමට බලධාරීන්ගේ ඇස් කන් විවරවීම සතුටට කාරනාවක් වන නමුදු කණගාටුවට කරුණ වන්නේ ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකොට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සොච්චම් බජට්ටුවෙන් කොටසක් එයට ලබාදීමයි.
ඉහත චේදයට සංක්ෂිප්තව ලඝු කල අදහස් මෙයට වඩා පුළුල්ව අර්ථකථනය කල හැකිය. කෙසේ නමුදු අද දවසේ රටට ලෝකයට උවමනා පන්නයේ නිෂ්පාදනයක් අධ්‍යාපනය නමැති කර්මාන්තශාලාවෙන් බිහිකරගැනීමේ පරමාර්ථයෙන් යුතුව අද දවසේ බීරි අලින්ට වැයූ වෙන නද මෙලෙස හමාර කරමි.