Friday 18 May 2012

පුලස්ති

පැරකුම් සමුදුරට ඉහලින්
වැව් ඉහත්තාවට බැලුම් හෙලන
පුලස්ති සෘෂිවරයාණෙනි,
කුමකටද මේ කඳුළැලි.

අත දරන තල්පතේ ලියැවීද
පෙරදිග ධාන්‍යාගාරයයට
ආනයනයකරන සහල් නැව් ගැන
අනාගත වාක්‍යයක්වත්

එහෙමත් නැතිනම් දුටුවෙහිද
ඔබ සන්තක  දිව්‍යමය බලයෙන්,
රන් දහදිය වගුරා ඉපැයූ කරලට
ජීවිතය හිලවු කරන අසරණයින්ව

සරුවට වැඩුණු ගර්කින් වගාවට
ඉහලින් හිරු කුමරුට හිනැහුණු
අහංකාර සූරියකාන්ත මලක්වත්
ඔච්චමට හිනාවුනාද  ඔබට

ජාතික ධනය වැනි රන් අස්වැන්න
තුට්ටුදෙකට  මිලකොට කොල්ලකෑ
ඇම්බට්ටයින්ගේ  බලය අභියස
ඔබගේ බලය හෑල්ලුවූවාට දුකහිතුනාද

සෘෂිවරයාණෙනි, රැගෙන පන්හිඳක්
ගරාවැටුණු පුලතිසි කටුගෙයින්
අන්තිම පිටුවේවත් ලියනු මැනවි
ලෝකාවසානය තෙක් පවතිනු පිණිස

No comments:

Post a Comment