Friday 14 March 2014

බීරි අලින්ට ගයන වෙණ අංක 01


                 

              මේ වනවිට අප  සාක්ෂරතාව අතින් ආසියානු කලාපයේ ඉතාමත් ඉහල තලයක වැජඹෙන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන නමුත් ලියන්නට කියවන්නට හැකි නමුත් චින්තනයක් නොමැති පරිකල්පන ශක්තියක් නොමැති සමාජ පද්ධතියක් සහිත රටක් වීම ගැන කතා කිරීම බීරි අලින්ට කරන වීනා වැයීමක් වන නමුදු බීරි අලින්ට ගයන වෙණ ලිපි මාලාවේ මුල්ම අංගය ලෙස අපේ රටේ පවතින විකෘති අංගවිකල අධ්‍යාපන පද්ධතිය ගැන කතා කිරීමට තෝරා ගත්තේ රටක ඉදිරි ගමනට, යහ පැවැත්මට බලපාන සාධක අතුරින් මූලික සාධකය එය බැවිනි.

           වර්ෂ 1944 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කොට 1945 දී සම්මත කරගැනීමෙන් උපන් නිදහස් අධ්‍යාපනය නමැති ළදරුවා මේ වන විට හැටනව වියැති මහල්ලෙක් බැවින් ඕනෑම දෙයකට පොදු ධර්මතාවය වන කාලයත් සමඟ වියපත්ව ජරාජීර්ණව කලින් කලට යෙදූ සංශෝධන නම් පැලැස්තර වලින්  අවලස්සන සිරුරක් සහිතව වුවද යම් තරමක සුවෙන් පසුවීම රට වැසි ජනතාවගේ හිත සුව පිණිසම වන නමුදු කාලයට සාපේක්ෂව යාවත්කාලීන නොවීම නිසා අද එම යාන්ත්‍රනය මගින් බිහි කරන ප්‍රතිපලය ලිවීමට කියවීමට හැකි නමුදු චින්තනයක් රහිත නිර්මාණශීලීත්වයක් රහිත පිරිසක් වීමනම් කිසිවෙකුගේ හිත සුව පිණිස නොවන බව පැවසිය යුතිය.

         රටක ඉදිරිගමනට සංවර්ධනයට මූලික අඩිතාලම වන අධ්‍යාපන පද්ධතිය මෙලෙස ව්‍යාකූල වීම හරහා පන නගින අතුරුආබාධ වලට මූලික හේතුවට පිළියම් යොදනවා වෙනුවට පැලැස්තර විසඳුම් වල සරණ යාම තුලින් අප අද ඉන්නා තැනටත් වඩා ඉතාමත් අවදානම්සහගත සහගත තත්වයක පෙරනිමිති පහල වෙමින් පවතින අතර රටකට අවශ්‍යකරන උගතුන්, බුද්ධිමතුන් වෘත්තිකයින් සැලැස්මක් සහිතව බිහිකර ගැනීම වෙනුවට එපාවාහෙට හොදි බෙදනවාක් මෙන් ඔහේ කිරීම මගින් අසරණ වන්නේ රටේ දියුණුව වෙනුවෙන් කැපවිය යුතු කැපවිය හැකි මානවසම්පතේ වර්තමාන පුරුක් බව රට කරවන ඇත්තන්ට මෙන්ම අදාළ ආයතනවල උසස් පුටු හොබවන ඇත්තන්ට වගේ වගක් නැත. ඒවා ඔවුන්ට දැනෙන්නෙත් නැත. එයට හේතුව ඔවුන්ද මෙම අවුට්ඩෙට් අධ්‍යාපන පියාට දාව උපන් නොමේරූ දරුවන් වීම ඇරෙන්නට වෙනත් කාරනාවක් නොවේ.

      2012 වසරේ අධ්‍යාපන අමාත්‍යංශ සංඛ්‍යාලේඛන වලට අනුව දිවයින පුරා පවතින පාසල් 10118 ක් ( මෙයින් 217 වැසී ගිය පාසල් බව සැලකුව මනාය ) තුල ඉගෙනුම ලබන දූ දරුවන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 40 ක් වන අතර එම වසරේ අපොස සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව හයලක්ෂ දෙදහසක් වන අතර ඉන් උසස්පෙළ සඳහා ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සුදුසුකම් ලබා ඇති අතර එයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ විසිදහසක් පමණ පිරිසක් වීම මෙහි ඇති ලොකුම පරස්පරයයි. කොටින්ම අපට ඇත්තේ ශිෂ්‍යත්වයෙන් සෝවාන්ව සාපෙලින් සකෘදාගාමීව උසස්පෙළින් අනාගාමීව විශ්ව විද්‍යාලයෙන් නිවන් දක්කවන අධ්‍යාපනයකි.නිවන ලබාගැනීමෙන් සියල්ල නිමාවේ යන පදනමින් කටයුතු කලත් ආශා ප්‍රහීන කල නිවන්ලාභියෝ මුදාහරින්නේ රුපියල් ශත මූලික කරගත් විෂම ලෝකයකට වීම මහත් අභාග්‍යයකි. රජය විසින් නොමිලේ ලබාදෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන්වැය කල හැකි මුදල සීමිත බැවින්  උසස්පෙළ නමැති සියුම් සිදුරු සහිත ෆිල්ටරය භාවිතා කිරීම ප්‍රශ්නයක් නොවන නමුත් රටේ අධ්‍යාපනය නමැති දේහය සා පෙලට සාපේක්ෂව 3.5% වීමත් උසස්පෙළට සාපේක්ෂව 7% වඩා අඩු අගයක පැවතීම කුණුහරුපයක් මිස වෙන කවරක්ද? කොටින්ම කියනවානම් රටේ සමස්ථ සිසු පරපුරට  ඉඳිකටු සිදුරකින් එතෙරවීම වැනි අසීරු ඉලක්කයක් ලබාදී සාපෙලින් සහ උසස්පෙළින් හැලෙන 93% ගැන ඇස් කන් වසාගෙන ඔහේ සිටීම මේ රටේ අනාගතය භාර ගැනීමට සිටිනා පරපුරට කරන බලවත් අසාධාරණයක් නොවේද?

     මහා කුණුහරපය නොහොත් අධ්‍යාපන දේහයේ සැකැස්ම සහ එහි ඉලක්ක තුලින් පෙරාගන්නා අමෘතයටත් වඩා මහඟු සම්පත තුලද වඳුරුකුනුහරුපද බොහොමයකි. උසස් අධ්‍යාපනයෙන් බිහිකරන උපාධිධරයා නමැති නිෂ්පාදනය කල් ඉකුත්වුණු එකක් වීම හෙවත් වර්තමාන ලෝකය සමඟ නොපෑහීම එයින් ප්‍රධානම කාරණයයි. ගණිත, විද්‍යා වාණිජ සහ කලා උපාධි පාඨමාලාවන්හි සංයුතිය සහ අන්තර්ගතය තුලින් නිර්මාණය වන එවැනි  වඳුරු කුණුහරුප බොහොමයකින් ගණිත,විද්‍යා සහ වාණිජ උපාධිපාඨමාලා යම් තරමකට නිදහස් වන නමුදු නියර මිටි තැනින් වතුර ගලන්නාක් මෙන් සියලු දෝෂ කලා උපාධිපාඨමාලා තුලින් කලා උපාධිධරයාට සංක්‍රමණය වීම වහාම නැවැත්වියයුතු නැවැත්විය හැකි කාරනාවකි. කලාවට හුරු සිත කැලෑවට යනු නැත යන්න අතීතයේ සිට පැවතෙන කියමනක් වන අතර එය අද දිනටද වලංගුය. කලාවට හුරු සිතැති කළා උපාධිධරයෝ විශ්ව විද්‍යාලයෙන් අනතුරුව රැකියා දියව් යන සටන්පාඨය අතැතිව එන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටටය. එතැන කැලෑවක් තබා තණකොළ ගහක් සොයාගනීමද කළුනික සොයනවාටත් වඩා අසීරු කාරණාවක් බැවින් සියල්ල වෙනස්වන ලෝකයේ එම කියමන පමණක් ඉන්ද්‍රඛීලයක් සේ අදද නොවෙනස්ව පවතී.

     මේ සියලු අඩු ලුහුඬුකම් වෙනස්කලයුතු වෙනස්කල හැකි කාරනා වන අතර අවශ්‍ය වන්නේ ඕනෑකම පමණි. නමුත් ජාතියේ අවාසනාවට නැත්තේත් එයමය. යල් පැනගිය අධ්‍යාපන පනතට පැලැස්තර වෙනුවට නව පනතක් ගෙන ඒම හැකි ඉක්මනින් කල යුතු අතර එහි ඉලක්කයන් අදට ගැලපෙන සේ සකස්කළ යුතුය. 7 % ඉලක්කය වෙනුවට අමතක කල අමතක වුනු ඉතිරි 93%  මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් තුල රටට අවශ්‍ය සම්පත් අධ්‍යාපනය තුලින් බිහිකරගත යුතු අතර කටපාඩම් විභාග සම්ප්‍රධායය වෙනුවට ප්‍රයෝගිකත්වය මත පදනම් වුනු විභාග සම්ප්‍රධායයක් තුලට කඩිනමින් ගමන් කල යුතුය.උසස්පෙළ නමැති ෆිල්ටරයෙන් පෙරී එන දැයේ සම්පත වඩාත් ඵලදායී ලෙස ලෝකයට මුහු කරනු වස් විශේෂයෙන් කලා උපාධිපාඨමාලාවන් තුලට වෘත්තීයමට්ටමේ නිපුපුනතාවයන් ලබාදෙන විෂයයන් එන්නත් කල යුතුය.එයට සිසු දරුවන් හුරුකිරීම සඳහා අඩුම තරමේ අට වසරේ සිටවත් වෘත්තීය කුසලතාවයන් වැඩිදියුණු කිරීම පාදක කරගත් විෂයයන් හඳුන්වා දිය යුතු අතර අතර මගදී පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සිසුන් එලෙස ලබාදුන් වෘත්තීයමූලික ක්ෂේත්‍ර තුලට අන්තර්ග්‍රහණය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරිභාහිරව ඇති තෘතීයික හා වෘත්තීය අධ්‍යාපනආයතන අධ්‍යාපන අමාත්‍යංශය හා සෘජුව සම්බන්ධ කල යුතුය. මීට වසර තිහකටවත් පෙර අධ්‍යාපන විෂයමාලාවන් තුලට ඇතුල් කලයුතු රැකියා අංශයේ පැතිරුණු වපසරියක් සහිත තාක්ෂණ විෂයය පමාවී හෝ අධ්‍යාපනය තුලට ඇතුළු කිරීමට බලධාරීන්ගේ ඇස් කන් විවරවීම සතුටට කාරනාවක් වන නමුදු කණගාටුවට කරුණ වන්නේ ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකොට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන සොච්චම් බජට්ටුවෙන් කොටසක් එයට ලබාදීමයි.

     ඉහත චේදයට සංක්ෂිප්තව ලඝු කල අදහස් මෙයට වඩා පුළුල්ව අර්ථකථනය කල හැකිය. කෙසේ නමුදු අද දවසේ රටට ලෝකයට උවමනා පන්නයේ නිෂ්පාදනයක් අධ්‍යාපනය නමැති කර්මාන්තශාලාවෙන් බිහිකරගැනීමේ පරමාර්ථයෙන් යුතුව අද දවසේ බීරි අලින්ට වැයූ වෙන නද මෙලෙස හමාර කරමි.

Friday 19 October 2012

අමර ලන්තයේ අමර බදු


අමර හින්ද  අමරපක්ෂ  මැතිතුමා රාජ්ජය විචාරන අමරලන්තය වනාහි  මේ අපගේ සිරි දේශය මෙන් පසික්කාටු දේශයක් නොවේ. මීට වසර හතකට පමණ පෙර සංවර්ධනයේ පහලම අඩවියේ තිබුණු අමර ලන්තය අමර හින්ද අමරපක්ෂ මැතිතුමාගේ පැමිණීමත් සමඟම සීඝ්‍ර දියුණුවකට පත්වී ඇත.කොටින්ම අමර ලන්තය වනාහි අමරාසියාවේ ආශ්චර්යයි.

 හදිසි රාජකාරි කටයුත්තක් සඳහා   මීට ටික දිනකට පමණ පෙර අමරලන්තයට ගිය මා හට ඇස් අදහාගත නොහැකි වූයේ මීට වසර කිහිපයකට පෙර එනම් 2005 වසරේ මා අමරලන්තයේ සංචාරයක නිරත වෙද්දී දුටු දසුන් තවමත් මතකයේ සටහන්ව ඇති බැවිනි.  එකල අඳුරේ ගිලුණු අමරවීදී අද විසිහතර පැයේම නා නා පැහැති විදුලි බුබුළු වලින් අලංකාර වී තිබෙන බැවින් එයට හේතුව සොයා බැලූ මට දැනගන්නට ලැබුනේ අමරලන්තයට නැගෙනහිරින් වූ දෑකැති සහ මිටි නිෂ්පාදනයෙන් ධනවත් වුනු රටක් විසින් සීයට තුනේ පොලියට අමර හින්ද තුමාට තෑග්ගක් ලෙස දුන් විදුලි බලාගාරයක් එයට හේතුභූත වී ඇති බවයි. ධන ධාන්‍යයෙන් පිරී ඉතිරෙන බැවින් දැන් එහි හිඟන්නෙක් අධ්‍යාපන කටයුත්තක් සඳහාවත් සොයාගත නොහැකි වී ඇත.සියල්ලෝම සතුටින් සාමයෙන් ජීවත් වෙන බැවින් මෙයට හේතුව සොයා බැලූ මට පෙනී ගියේ  අමරලන්තයේ සශ්‍රීක බවට හේතුව වී තිබෙන්නේ අමරාර්ථික ධනපාල සෘණසේකර මැතිතුමාගේ විස්මිත බදු ප්‍රතිපත්තිය බවයි. දුප්පත් කමින් පීඩා විඳින සිරිදේසේ වැසියන්ගේ හිත සනසවා ගැනීම පිණිසත් සිරිපාලලාගේ අවධානය යොමු කිරීම පිණිසත් එම බදු වලින් කොටසක්  ඔබ හමුවේ තබන්නට අදහස් කල අතර සිරිපාලලාට උවමනානම් මේ බදු ක්‍රම අත්හදා බැලුවාට මගේ අකමැත්තක් නොමැති අතර කතෘ භාග නොඉල්ලන බවටත් සහතික වෙමි.

අමරලන්තයට අදායම් ලැබෙන බදු අතර ප්‍රධාන බද්ද වන්නේ විවාහක පුරුෂයින් සඳහා වන විනෝද බද්දයි. එනම් සතියකට දෙවතාවකට වඩා සිය විවාහක බිරිඳ සමඟ සංසර්ගයේ යෙදෙන පුරුෂයින් ඒ සඳහා බද්දක් අමරලන්ත රජයට ගෙවිය යුතුය. ඒ සඳහා විශේෂයෙන් පත් කල නිලධාරීන් අමරලන්ත රජයට නොමැති අතර බදු නිලධාරියාගේ කාර්යය කිරීම අමරලන්ත රජය විසින් අදාළ පුරුෂයාගේ බිරිඳට පවර ඇති අතර අය කරන බදු මුදලින් කොටසක් ප්‍රසාද දීමනා ලෙස බිරිඳට ගෙවන අතර ආදායම් ඉලක්ක ඉක්මවාලන බිරින්දෑවරුන් සඳහා අතිරේක දීමනා ලබා දීම මගින් බදු ව්‍යුහය කාර්යක්ෂම කිරීමට අමරලන්ත රජය කටයුතු යොදා ඇති අතර මෙම බද්ද මගින් උපයන සියලු මුදල් නැව්නොඑන වරායන් වලට නැව්  ගෙන්වා ගැනීම වැනි සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගනු ලැබේ.

අමරලන්තයේ  සීඝ්‍ර සංවර්ධනයට හේතු වුනු අනෙක් බද්ද වන්නේ පුනර්ජනනීය ආදායම් සංවර්ධන බද්දයි. එනම් ගණිකා වෘතිය වැනි කිසිදු ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන වෘත්තීන් සඳහා ලබා දෙන සහනයන්ය.ඒ සඳහා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන අතර ආදායම් ලබන්නන් විසින් සිය ආදායමෙන් 20% උපයන විට ගෙවීමේ බද්ද වශයෙන් ගෙවිය යුතුය.අමරලන්තයේ අවිවාහක තරුණයින් ඇත යහමින් මුදල් ගැවසෙන බැවින් අමරලන්ත රජය සැලකිය යුතු මුදලක් බදු වශයෙන් උපයන අතර ඉන් හෙජින් වැනි ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

මීට කලකට පෙර මහත් ආර්ථික ප්‍රශ්න වලින් බැට කෑ අමරලන්තයේ කිරි ගොවීන් අද සුපිරි ධන කුවේරයින් වී සිටිනු දුටු මට ඇස් අදහා ගත නොහැකි විය. කිරි ගොවීන් මෙලෙස ධනවත් වීමට හේතුව කිරි ගොවියා නගා සිටීමේ අරමුණින් පැනවූ තන බද්දයි. එනම් මාස තුනකට වඩා වැඩියෙන් මව් කිරි බොන අමරලන්ත දරුවන් වෙනුවෙන් බදු මුදලක් මාසිකව අමරලන්ත රජය විසින් මව් වරුන්ගෙන් ඇය කරගනු ලබන අතර ඉන් ලැබෙන මුදල් කිරි නිෂ්පාදනයේදී අපතේ යවන කිරි වෙනුවට වන්දි මුදල් ලෙස කිරි ගොවීන්ට ලබා දෙනු ලැබේ.

මීට අමතරව පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමේ අරමුණින් සියලු පුද්ගලයින් විසින් ජාතික මලපහ බද්ද ගෙවිය යුතු අතර ඉන් අමරලන්ත රජයේ ඇමති මණ්ඩලය නඩත්තු කරනු ලැබේ. තවත් අතුරු බදු ගණනාවක් අමරලන්ත රජය විසින් පනවා ඇති නමුත් සිරි දේශය අමරලන්තය වැනි විශාල රටක් නොවන බැවින් ඉහත කී බදු තුන පනවා නිසි පරිදි පවත්වාගෙන යාම මගින් පමණක් රට සුඛිත මුදිත කල හැකි බව මගේ අදහසයි.

එබැවින් ළිං වලින් බදු අයකර ගැනීම වැනි අවම අදායම් ලැබෙන බදු ක්‍රම ක්‍රියාත්මක කරනවාට වඩා මෙවැනි බදු ක්‍රම ක්‍රියාත්මක කිරීම මගින් ඉතා ඉක්මනින් සිරි දේශයත් අමරලන්තය මෙන් දියුණු රටක් බවට පත් කල හැකි  බැවින් මෙය සිරිපාලලාගේ අවධානය පිණිස යොමු කරමි. නමුත් එදිනට  සිරිදේශයේ වැසියන්ට ජීවන බර ඉසිලීම සඳහා වූ ඔලිම්පික් පදක්කම අහිමිවන එකනම් සිකුරුය.

Saturday 13 October 2012

ජෙනරේටර් ස්ටාර්ට් කෙරේ


පිටවානට මේ සිද්ධිය වුනේ මීට අවුරුදු තුනකට විතර කලින් ඩුබායි වලදී. පිටවානට වුනා කිව්වට ඇත්තටම පිටවාන හින්දා අහක හිටපු අල්ලපු රටේ දෙන්නෙකුට තමයි මේක වුනේ. අද ජනක කියන මගේ මිත්‍රයා අප්ලෝඩ් කරපු ෆේස්බුක් ස්ටේටස් එකක් නිසා ඒ සිදුවීම පිලිබඳ මතකය ආයෙත් අලුත් වුනා.

මේ සිදුවීම වුනේ ඩී.අයි.පී  එහෙමත් නැත්නම් ඩුබායි ඉන්වෙස්ට්මන්ට් පාර්ක් වල තිබුණු වැඩබිමකදී. ඩී.අයි.පී තියෙන්නේ ඩුබායි ඉඳලා ජබෙල් අලි ආයෝජන කලාපයට යන පාරේ. ඩුබායි වල ඉන්න අපේ මිත්‍රයෝ දන්නවා ඒගැන ටක්කෙටම කියන්න.ඉතින් පිටවාන ඒ දවස්වල රැකියාව කලේ  මිට්සුබිෂි සමාගමේ ඩුබායි නියෝජිතායතනයේ. මිට්සුබිෂි කිව්වට ඇස්ටන් මාර්ටින්, බෙන්ලි ( බයිසිමොටෝ නොවෙයි හොඳේ ) ගොල්ෆර්  කියන වර්ග වල අලෙවිනියෝජිතයා වුනෙත් අදාළ සමාගමම තමයි. වැල් වටාරම් තියලා අපි කතාවට හැරෙමුකො.

ඩුබායි වල තියෙන හැම සමාගමකම වගේ මේ කියන සමාගමේත් ඉහල පුටු ඔක්කොම ඉතින් අල්ලපු රටේ උදවිය තමයි අල්ලාගෙන ඉන්නේ. අල්ලපු රටේ කිව්වට විශේෂයෙන් කේරලයේ උදවිය. අපේ අය මලයො කියන  කෙටි හැඳින්වීම යොදාගන්නෙත් ඒ අයව හඳුන්වන්නම තමයි.ඉතින් උන්දලා කරන්නේ සියරට දේ සිරිසැප දේ කියලා අල්ලපුරටේ ඉන්න ඔක්කොම ගෙනත් අදාළ ආයතන  පුරවන එක විතරයි. මොකද අතින් පයින් යනවා කියලායැ. පිටවාන සේවය කරපු සමාගමටත් ඔය විදියට ගෙනත් දාල හිටපු ඩබලක් හිටියා.පට්ට මෝඩයි. ගොන් බඳින කණු දෙකක් කිව්වොත් ඒක කණු වලට කරන අපහාසයක්. එ තරමට මේ ඩබල බුද්ධිමත්.කොටින්ම නාඩි වැටෙනවා විතරද මංදා. මේ ඩබලගෙන් එකෙක් මුස්තාෆා. අනිකා ලතීෆ්. (සම්පුර්න නම් නෙවෙයි හොඳේ. ඒවා කියවන්න ගිහින් හක්ක පන්නගන්න ඕනෙත් නෑනේ ඔයාලාට.) මේ දෙන්න අයත් වෙලා හිටියේ නඩත්තු සහ පරීක්ෂක කණ්ඩායමට. විදුලි පහන්, වතුර ලයින් වගේ දේවල් පරීක්ෂා කරලා අඩුපාඩුවක් තියෙනවනම් සකස් කරන ඒක තමයි මේ නඩත්තු සහ පරීක්ෂක කණ්ඩායමේ  රාජකාරිය වුනේ.

මේ  සිද්ධිය වුනු දවසේ පිටවාන වර්ක් ෂොප් එකෙන්  එළියේ අලුතෙන් හදන ගොඩනැගිල්ලක  වැඩක් කර කර ඉද්දි එතනට විදුලි සැපයුමක් උවමනා වුනු නිසා නඩත්තු අංශයට ඇමතුමක් දුන්නාම කිලෝවොට් පහක් ජෙනරේටරයක් එක්ක නඩත්තු අංශයෙන්  එවලා තිබ්බේ මේ ජෝඩුව තමයි.අලුතෙන් හදාගෙන යන ගොඩනැගිල්ලේ කොට බිත්තියෙන් එහා පැත්තේ ඉඳගෙන හම්බෙන්නත් කලින්ම සමුගන්න ලෑස්තිවෙලා බායි බායි කියන මේ ජෝඩුව දැක්කාම පිටවානට හීන් දාඩිය දැම්මේ වෙන මුකුත් නිසා නෙවෙයි, මුන් දෙන්නගේ වැඩෙත් පිටවානෙන්ම පිටවෙනවා කියලා අත්දැකීමෙන්ම දන්නා නිසයි. එ නිසාම මෙහා පැත්තේ තිබුණු  විදුලි  කේබලය කොට බිත්තියෙන් එපිටට විසි කරලා මුස්තෆාට කිව්වා ඒක ජෙනරේටරයට සම්බන්ධ කරලා  ස්ටාර්ට් කරපන් කියලා. මෙන්න එ ගමන ඌ කට හොඳට උල්කරලා එහෙම කියනවා,


"බායි, මාෆි බැටරි මාෆි ස්ටාර්ට්" කියලා

පිටවානට ඒක ඇහුවාම අසූ හාරදාහට තද වුනා. ඇයි යකෝ මුන් දෙන්නව දිවියා කන්ට  මීටර පන්සීයක් විතර දුර ඉඳන් ජෙනිය අරන් ඇවිල්ල තියෙන්නේ මෝටරය වදින්නේ නෑ බැටරිය බැහැලා කියලා දැන දැනමනේ.කේන්තිය දවල් කෑම වෙලාවත් කිට්ටු වේගන එන එකේ කේන්තිය පිටම පිටවාන කලේ අරුන් දෙන්නට තල්ලුකරලා හරි ස්ටාට් කරපියව් කියලා කිව්ව එක.ඒ ගමන ලතීෆ් අහනවා මේක කොහොමද තල්ලු කරලා ස්ටාර්ට් කරන්නේ කියලා. තල්ලු කරන ගමන්ම මෝටරෙත් ගහපන් කියලා කේන්තිය පිටම කියපු පිටවාන කරකර හිටපු වැඩේට අවධානය යොමු කලා. විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ මුස්තාෆා විතරක් හති හල හල ඇවිත් කියනවා

"බායි, මාෆි ස්ටාර්ට්"   කියලා

කෝ අනිකා කියලා බලන්න කොට බිත්තියෙන් එල්යට ඔලුව දාපු පිටවාන දැක්කේ කාස්ටක අවුවේ මීටර් දෙතුන්සීයක් ඈත ජෙනිය උඩට වෙලා ඉඳගෙන ඉන්න ලතීෆ්ව.

Friday 12 October 2012

එතකොට පිරිමින්ට දෙසිය අටද සර්?


මේ සිද්ධියට පිටවාන මුහුණ දුන්නේ මීටඅවුරුදු ගණනකට කලින්. මට මතක විදියට 1998 දී විතර. ඒ වකවානුව වනකොට පිටවාන පාසල් අධ්‍යාපනය එහෙම ඉවරකරලා පාලුවට කාන්සියටත් එක්ක ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ  ක්‍රියාකාරකම් සඳහා පූර්ණ කාලීනව දායක වෙලා හිටපු වකවානුව.මේ සිද්ධිය වුනේ ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව මගින් පාසලක පවත්වපු ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවකදී.ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව එහෙමත් නැතිනම් සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් කියන්නේ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය වගේම ස්වේච්චාවෙන් ගලවාගනීම් සහ ප්‍රථමාධාර සේවාවන් සපයන රාජ්‍ය නොවන සංවිධාන දෙකක්.

ඉතින් මේ සංවිධාන දෙකම වගේ නිතරම තමන්ගේ ක්‍රියාකාරී සාමාජිකයින්  වැඩිකර ගැනීම සහ වැඩි පිරිසකට හදිසි අවස්තාවකදී තමන්ගේ ආරක්ෂාව සලසාගන්නේ කොහොමද ඒවගේම තමන්ගේ ආරක්ෂාව සලසාගනිමින් අන් අයගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්නේ කොහොමද කියන කාරනා ගැන අන් අය දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු ආදිය නිතරම පවත්වනවා.එහෙම වැඩමුළු පවත්වද්දී අපි නිතරම උත්සාහ කරන්නේ පාසල් සිසුන් මේ සඳහා වැඩි වැඩියෙන් දායක කරගන්න. ඔන්න ඔය විදියට පවත්වපු පුහුණු වැඩමුළුවකදී තමයි මෙන්න මේ කියන සිද්ධිය වුනේ.

ඉතින් පුහුණු වැඩමුළුවේදී ප්‍රථමාධාර පුහුණුව ලබා දෙන්න කලින් මිනිස් සිරුර ගැන පූර්ණ වශයෙන් හැඳින්වීමක් කරනවා. මොකද පුහුණුවෙන් පසුව සමාජයට යන ප්‍රථමාධාර කරුවාට හදිසි අවස්තාවකදී අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන්නේ පණ ඇති අනතුරට ලක්වූ අයෙක් නිසා ප්‍රථමාධාර පුහුණුවේදී  වෙළුමක් දමන්නේ කොහොමද, කෘතීම ස්වසනය ලබා දෙන්නේ කොහොමද, හෘදයවස්තුව නතර වූ අවස්ථාවකදීනම් යලිත් හෘදය පනගන්වන්නේ කොහොමද වගේ මෙකී නොකී බැරෑරුම් කාරනා ගැන නිවැරදි පුහුණුවක් ලබා දෙන්නනම් මිනිස් සිරුර ගැන හොඳ දැනීමක් ප්‍රථමාධාර කරුවා සතුවීම අනිවාර්ය කරුණක්. ඒ වගේම රෝගියා රෝහල් ගත කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ භාරයට පත්කරන තුරු රෝගියාගේ පූර්ණ වගකීම ප්‍රථමාධාර කරුවා සතු දෙයක්.ඒ නිසා එක සුළුපටු කාරියක් එහෙම නෙවෙයි.ඉතින් ඔහොම මිනිස් සිරුර ගැන හඳුන්වාදීමක් එහෙම කරලා සිරුරේ  අවයව පද්ධතිය ගැන හැඳින්වීමකට එන්න කලින් අස්ථි පද්ධතිය ගැන හැඳින්වීමක් කරන අතරේ පහල හිටපු සිසුන්ගෙන් මම ඇහුවා ප්‍රශ්නයක්. මොකක්ද අපේ සිරුරේ අස්ථි කොටස් කීයක් තියෙනවද ? කියලා. අස්ථි කොටස් දෙසිය හයකින් තමයි අපගේ සිරුරේ අස්ථි පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඒත් පහල ඉන්න උන්ගෙන් කිසි උත්තරයක් නෑ. සභාව මීයට පිම්බා වගේ නිහඬයි. බලන් ඉඳලා බැරිම තැන පිටවාන වාන් දමන්න පටන් ගත්තා.

" ළමයි, දැනගන්න අපේ සිරුර සකස් වෙලා තියෙන්නේ අස්ථි කොටස්, එහෙම නැතිනම් ඇට  දෙසිය හයකින්"

මෙන්න බොලේ ටික වෙලාවකින් කෙල්ලන්ගේ පැත්තෙන් කසු කුසු සද්දයක් ඇහෙනවා. කොල්ලෝ මීක් නෑ. බැරිම තැන පිටවාන ඇහුවා ලමයි මොකක්ද ප්‍රශ්නේ? අහන්න තියෙන දෙයක් අහන්න.කියලා. ඒත් කෙල්ලෝ ටික ඇඹරෙනවා විතරයි.නෝ කතා නෝ සිනා. බැරිම තැන පිටවාන කලේ වේදිකාව පල්ලෙහා හිටපු ගෑනු ළමයෙක් නැගිට්ටවලා ඇහුව මොකක්ද දැන් ඔය ලමයින්ට තියෙන ප්‍රශ්නේ කියලා.



" එතකොට පිරිමින්ට දෙසිය අටක් තියෙනවද සර් ?

කෙල්ල බිම බලාගෙනම ඇහුවා.