Thursday 11 October 2012

මොනවද මේ බාල තෙල්?



විස්සයි විස්ස පෙන්නලා රුපියල් හතරකින් ඩීසල් මිල උස්සපු කතාව ගැන හැමෝම පහුගිය දවස් ටිකේ කතා වුනා මතක ඇති. ඒත් අද පිටවානෙන් කතාකරන්න යන්නේ වෙන දෙයක් ගැන.ඔයාලාට මතක මීට ටික කාලෙකට කලින් බාල පෙට්‍රල් තොගයක් ආනයනය කරලා වෙළඳපොළට නිකුත් කිරීමත් ඒවා භාවිතා කල රථවාහන හිමිකරුවෝ අමාරුවේ වැටුණු හැටිත්. ( පස්සේ අතිගරු උතුමාගේ නියෝගය පරිදි හානියට පත් සියලුම වාහන වලට වන්දි ගෙවලා හිතේ සංතෝසෙන් පාරිභෝගිකයෝ එපාම කියද්දී ටැංකිය පිරෙන්න තෙලුත් ගහලා දුන්නු නිසා එහෙම එකක් උනේ නෑ කියලා කව්රු හරි කිව්වොත් ඔන්න මමනම් නෑ.) ඊට පස්සෙන් පහු අර ලංකාවේ කොළඹ නගරය කොපි කරපු රටේ කොම්පැනියකින් බාල ඩීසල් තොගයක් උස්සගෙන ඇවිත් ලංකාවේ අසරණ පාරිභෝගිකයාගේ වාහන කටු ටික පංචිකාවත්තට දක්කපු හැටිත් හැමෝම කතාවුනා මතක ඇති. ( සතිදෙකකට වඩා පරණ නිසා අමතක වෙලත් ඇති මයේ හිතේ.) ගිය හකුරට අඬලා පලක් නැති වුනත් පිටවාන කල්පනා කලා මේ බාල තෙල් බාල තෙල් කියකියා හැමෝම කියවන තෙල් ගැන ලියන්න.

මොනවද මේ බාල තෙල්?

බාල තෙල් ගැන දැනගන්න කලින් තෙල් ගැන දැනගෙන ඉන්න ඕනනේ. අපි අද ඩීසල්,පෙට්‍රල්,භූමිතෙල්, දැවිතෙල් වගේ මෙකී නොකී සියලු ඉන්ධන අපේ අතට පත්වෙන්නේ පොළොවෙන් ලබාගන්නා බොරතෙල් පූර්ණ වශයෙන් පිරිපහදු කිරීමෙන් පසුවයි. අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් වෙන ඒ ගැන පිටවානෙන් කතා කරන්න යන්නේ නැත්තේ ඒක ඇත්තටම වචනයෙන් පැහැදිලි කලත් මොන සම්මයකින්වත් ඔයාලට,අපිට තේරුම් ගන්න අපහසු තරම් සංකීර්ණ ක්‍රියාවලියක් නිසයි. ඉන්ධන පිරවුම්හලකට ගිහින් දකුණුපැත්තේ වීදුරුව ඇරලා පිරවුම්හලේ ඉන්න කොල්ලට මුදල් නෝට්ටුවක් දික් කරලා මල්ලි, පන්සීයක ගහන්න දාහක ගහන්න කියලා කියනවා ඇරෙන්න වෙන දෙයක් අපේ පාරිභෝගිකයෝ දන්නේ නෑ. වැඩිමනත් තියා වාහන අලුත්වැඩියා කරන කාර්මිකයෝවත් ඒ ගැන පැහැදිලිව කියන්න දන්නේ නෑ. හුඟ දෙනෙක් හිතන් ඉන්නේ අපි පාවිච්චි කරන ඩීසල් නැත්නම් පෙට්‍රල් හෝ වෙනයම් ඉන්ධනයක්  බොරතෙල් පිරිපහදුවේදී  කෙලින්ම ලැබෙන නිෂ්පාදන කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. පිරිපහදුවේදී ඩීසල් ප්ට්‍රල් කියලා වර්ග කලාට ඒවා අපේ අතට එන්න කලින් පිළිගත් ප්‍රමිතියකට මිශ්‍ර කිරීමක් කරනවා.කොටින්ම අපි දීස එහෙමත් නැත්නම් පෙට්‍රල් කියලා කියන්නේ අන්න එහෙම ප්‍රමිතියකට සකස්කරගත්තු හයිඩ්‍රෝකාබනික ද්‍රව වර්ග.

මුලින්ම අපි පෙට්‍රල් ගැන කතා කරමු. ඉන්ධන පිරවුම්හල් වලට යන ඔයාලා දන්නවා පෙට්‍රල් පොම්පවල ඔක්ටේන් අංකයක් කියලා එකක් ගහලා තියෙනවා. ඒක 90  සහ 95 වශයෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම ඔක්ටේන් 95 පෙට්‍රල්  ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා මිලත් වැඩියි. ඒ ඇයි? මොකක්ද මේ ඔක්ටේන් අංකය?
ඒක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් ආසාවට ගහපු එකක්ද?

පෙට්‍රල් නිෂ්පාදනයේදී පෙට්‍රල්වල ගුණාත්මක භාවය මනින්නේ එම ඉන්ධනය භාවිතාවේදී ඉග්නිෂන් නොක් වීමට එරෙහිව ඇති කරන ප්‍රතිරෝධය අනුවයි. ඉග්නිෂන් නොක් වීමට දැඩි ප්‍රතිරෝධයක් දක්වන අයිසෝ (Iso Octane) ඔක්ටේන් සහ ප්‍රතිරෝධය ඉතාමත් අඩු හෙප්ටේන් (Heptane)  තමා මෙහිදී භාවිතා වෙන්නේ.උදාහරණයක් විදියට අපිට ඔක්ටේන් 90 ක ඉන්ධන සාම්පලයක් උවමනානම් එහිදී  අයිසෝ ඔක්ටේන් කොටස් 90 සමඟ හෙප්ටෙන් කොටස් 10 ක් මිශ්‍ර කර සකස් කල සාම්පලයට ගැලපෙන ලෙසට තමයි පෙට්‍රල් නිෂ්පාදනය කරන්නේ. එහිදී පෙට්‍රල්වල ඔක්ටේන් අගය අඩු වැඩි කිරීම සඳහා ටෙට්රා ඊතයිල් ලෙඩ් (TEL) සංයෝග භාවිතා කරනවා. පෙට්‍රල් වලින් පරිසරයට ඊයම් එකතුවෙනවා කියලා කියන්නේ මේ විදියට එකතු කරන  TEL  සංයෝග දහනය වී පිටාර වායුවත් සමඟ පරිසරයට මුක්ත වීම තමයි. ඔක්ටේන් 95 පෙට්‍රල් ඔක්ටේන් 90 ට වඩා පරිසර හිතකාමී වෙන්නේ ඒ විදියට දහනයේදී පිට කරන ඊයම් ප්‍රමාණය ඔක්ටේන් 90 පෙට්‍රල් වලට වඩා සාපේක්ෂව අවමයක් නිසයි. අපි දන්නේ ඔක්ටේන් 90, 95 පෙට්‍රල්  පමණක් වුනත් ඔක්ටේන් 90 සිට 98 සක්වා පරාසයකට පෙට්‍රල් නිපදවෙනවා.

පෙට්‍රල් වල ගුණාත්මක බව ඉග්නිෂන් නොක් වීමට දක්වන ප්‍රතිරෝදධය මගින් ගණනය කරනවා වුනාට ඩිසල් වලදී ඒක ටිකක් වෙනස් වෙනවා. ඒ වෙනුවට ඩීසල් වලදී සලකා බලන්නේ ජ්වලන ගුණය ( Ignition Quality ) ගැනයි. එහිදී සිදු කරන්නේ ඉතා ඉහල ජ්වලන ගුණයක් ඇති සීටේන් ඉන්ධනයත් දුර්වල ජ්වලන ගුණයක් ඇති මීතයිල් නැප්තලීන් ඉන්ධනයත් මිශ්‍ර කිරීමයි.ජ්වලන ගුණය 100 ලෙස සලකන සීටේන් සහ ජ්වලන ගුණය 0 ලෙස සලකන මීතයිල් නැප්තලීන් 40 : 60 වශයෙන් මිශ්‍රකර සීටේන්  අගය 40 වන ඉන්ධන සාම්පලයක් සකස්කර ඒ හා සමාන වන ලෙසට ඩීසල් ඉන්ධනය සකස් කරගැනීම තමයි මෙහිදී සිදු වෙන්නේ.ඉන්ධන වල තත්ත්ව පරීක්ෂාව සඳහා විශේෂයෙන් සකස් කල සම්පීඩන අගය සීරුමාරු කල හැකි CFR නම්  විශේෂ එන්ජිමක් යොදාගනු ලබනවා. පෙට්‍රල් නිෂ්පාදනයේදී ටෙට්රා ඊතයිල් ලෙඩ් යොදාගන්නාක් මෙන්ම ඩීසල් නිෂ්පාදනයේදී ඒ සඳහා පැරෆින් ඉටි භාවිතා කරනවා.ඒ වගේම සීටේන් අගය 40 සිට 50 දක්වා පරාසයකට ඩීසල් නිපදවෙනවා. සාමාන්‍යයෙන් හොඳ ක්‍රියාකාරීත්වයක් සඳහා සීටේන් අගය 45 පමණ වෙන ඩීසල් භාවිතා කල යුතු අතර ඇති නවීන මෝටර් රථ සඳහා සීටේන් අගය 50 පමණ වෙන ඩීසල් භාවිතා කලත් අපේ රටේ තවම එවැනි වාහන භාවිතා කරන්නේ නෑ.ඩීසල් වල සීටේන් අගය 40 ට වඩා අඩු වුනාම පනගැන්වීම අපහසු වීම එන්ජිමේ ශබ්දය සහ ගැස්ම වැඩිවීම සහ ඩීසල් නොක්වීම වගේ දෝෂ මතු වෙනවා.

ඉතින් පහුගිය වකවානුවේ අපේ රටේ ඇති වුනේ ඉහතින් සඳහන් කල සම්මත තත්වයන්ට වඩා අඩු ඉන්ධනයන් ආනයනය කිරීම නිසයි. අපේ රට ගැන හැමදාම නිදි වරමින් කල්පනා කරන ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරි උත්තමයෝ අඩුමිලට බාල තෙල් අරන් ආවේ ජාතික ධනය අරපිරිමැස්මෙන් වියදම් කරන්න මිසක් කොමිස් හින්ද එහෙම නෙවෙයි හොඳේ.



2 comments:

  1. තෙල් පිරිපහදුව ගැන තවත් කරුණු තිබ්බ නම් මරු...

    හොද පෝස්ටුවක් සහෝ !

    ReplyDelete