Friday 10 August 2012

කරඹ මල්


1.




"තරුණ පාසැල් ගුරුවරයා නාඳුනන තුවක්කුකරුවන්ට බිලි"

ඊයේ උදෑසන 9.30 ට පමණ අම්පාර දමන සියඹලාන්ඩුව A-25 ප්‍රධාන මාර්ගයේ අම්බලන්ඔය මංසන්දියේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කල වෙඩිතැබීමකින් පාසැල් ගුරුවරයෙක් ජීවිතක්ෂයට පත්විය.මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්පාර බක්මිටියාව විදුහලේ ගුරුවරයෙකු ලෙස සිය වසර පහක දුෂ්කර සේවය නිමකර නිවස බලා යමින්  සිටි සෙනරත් බණ්ඩාර නම් ..................

කිසි විටෙක අහන්නට දකින්නට ප්‍රර්ථනා නොකළ පුවතක් හදිසියේ නෙත ගැටීමෙන් අනතුරුව වික්ෂිප්ත වුනු මා නැවතත් එම පුවත මුල සිට අගට දෙතුන්වතාවක් කියවූයේ මේ දකින්නේ සිහිනයක්දයි මා හටම ප්‍රත්‍යක්ෂ කරගැනීමට අවශ්‍යය වූ නිසාමය. නමුත් මෙය සිහිනයක් නොව යතාර්තයක් බවට සැකහැර දැනගැනීමෙන් කම්පනයට පත් මම  කියවමින් සිටි පුවත්පත මතම හිස තබා ගත්තෙමි.මා වටා ඇති ලෝකය මා කේන්ද්‍ර කරගනිමින්  වේගයෙන් භ්‍රමණය වන්නාක් මෙන් දැනෙන්නට වූ හෙයින් මගේ දෑත හිස මත තබාගෙන තදින් ඇස් පියාගත්තේ ඉන් තාවකාලික සහනයක් ලබා ගනු පිණිසය.

"අමා, අමා  මොකද ළමයෝ  මේ ඔලුව බදාගෙන ?මොකද ඔලුවේ කැක්කුමක්වත් හැදුනද?

වාට්ටුව භාර ප්‍රධාන හෙද පාලිකාවගේ හඬින් පියවි ලොවට පැමිණි මා හිස තබාගෙන සිටි කඳුලින් බොඳවුණු දිනපතා පුවත් පතේ ප්‍රධාන සිරස්තලයට මදන් පහලින් වුනු ප්‍රවෘත්තිය ඇයට පෙන්වීමි.නිතරම කොපුව තුල රුවාගෙන සිටි රිදී පහ රාමුව සහිත උපැස් යුගලය පැළඳගැනීමෙන් පසුව පුවත්පත අතට ගත් ප්‍රධාන හෙද පාලිකා සඳසීලී මහත්මිය එය කියවා දිගු සුසුමක් හෙළුවේ  කියවා අවසන් බවට මා හට කල කල ‍‌‌සංඥාවක්  පරිද්දෙනි.

"මොනවා කරන්නද අමා, එයා ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති. එහෙම නැතිනම් ඔච්චර කාලයක් ඔය කොටි කටේ රස්සාව කරලා අන්තිම මොහොතේ එයාට ඔයවගේ දෙයක් වෙන්නේ නෑනේ.හිත හදාගන්න බලන්න ළමයෝ.මොනවා වුනත් හිත හොඳ දරුවෙක් අපිට නැතිවුන එක විතරයි වුනේ.ජීවිතේ හැටි ඔහොම තමයි ළමයෝ".

ප්‍රධාන හෙද පාලිකාව එසේ කියන්නේ මා කෙරෙහි උපන් ලෙන්ගතු කම නිසා වුවත් මේ මොහොතේ මට කල නොහැක්කේද එයයි. විශ්‍රාම යාමය ඔන්න මෙන්න කියා සිටින සඳසීලී මහත්මිය සිය හෙද ජීවිතය තුලින් උපයාගත් අත්දැකීම් කන්දට අලගු තැබීමටවත් වසර හතකට මදක් වැඩි මගේ හෙද ජීවිතයට හැකියාවක් නැත. ඕනෑම සංවේගජනක මොහොතකට සැනෙකින් අනුවර්තනය වීමට ඇයට ඇති නිසඟ කුසලතාවය මා හට නැති තරම්ය .ඇරත් පව්ලේ එකම දරුවා වීම නිසාම තනිපංගලමේ හැදුනු වැදුණු මා හට සොයුරෙක්,මිතුරෙක් වූ ඔහුගේ නික්මයාම මට දැනුනේ මගේ ජීවිතයෙන් පදාසයක් අහිමිවූ පරිද්දෙනි.ඉතින් මා කෙලෙස හිත හදාගන්නද?

" කෙල්ලේ, එහෙනම් හොඳ ළමයා වගේ වෝඩ් නම්බර් සික්ස් වලට කෝල් එකක් දීලා සුභාට හරි නදීට හරි එන්න කියන්න. දැන් ඩොක්ටර් වෝඩ් එකට එන වෙලාව හින්දා මට තනියම මේ වැඩ ටික කරගන්න අමාරුයි.දන්නවගේ මේ ටික පිළිවෙලක් කරගන්න බැරිවුනොත් මෙතන දහඅට සන්නිය නටන්න තියාගනියි.ඊට පස්සේ රෙස්ට් කරනවානම් රෙස්ට් කරන්න. නැත්නම් ෂෝර්ට් ලීව් එකක් දාලා ගෙදර යන්න".

කිසිවක් නොකී මම හෙද පාලිකාවගේ අණට කීකරු වෙමින් වාට්ටුවේ ඇති දුරකතනයෙන් වාට්ටු අංක හය ඇමතීමි. සුපුරුදු ලෙසම එය ක්‍රියා විරහිතය.එකාකාරීව නැගෙන බීප් බීප් නාදය නිසා උපන් කෝපයෙන් යුතුව දුරකතනයේ බනුව දඩස් හඬින් රඳවනය උඩට අතහැර වාට්ටුව මැදින්ම හයේ වාට්ටුව දෙසට පියවර එසවීමි. වෙනදාට සාමාන්‍ය වූ රෝගීන් නගන වේදනාව මුසු හඬ අද මා හට දැනෙන්නේ නැත. ඒ වෙනුවට යකඩ උල් සවි කල පාවහන් පැළඳගත්තෙක් මගේ පපුව මත ඇවිදිනවාක් වැනි හැඟීමකින් සිත වෙලී තිබේ.මග දෙපස ඇඳන් මත වේදනාවෙන් මොරදෙන රෝගීන් දෙස නොබලමින්ම වාට්ටුව මැදින් පැමිණ මැද මිදුලට වැටුණු කෙටි මගින්  වාට්ටු අංක හය දෙසට යොමු වුනු කොරිඩෝවට පිලිපන්නෙමි. බරවූ හිසින් යුතුව වාට්ටුවට පැමිණියේ  මා වාට්ටුවේ සිටි මා මිතුරියන්ගේ හඬින්ය.

" අමා  මොකෝ බං මේ ?

ඒ දැනට වසර දෙකක පමණ සිට මගේ දුකට සැපට දෙකටම මා ලඟින් සිටින මිතුරිය සුභානිය.

"විස්තර පස්සේ කියන්නම් සුභා දැන් පුලුවන්නම් වෝඩ් එකට පලයන්. ලොකු මැඩම් උඹට හරි නදීට හරි එන්න කියන්න කිව්වා. අර වෙසමුනියා එන්න කලින් ඉක්මනට පලයන් කෙල්ලේ ලොකු උදව්වක්"

" හරි හරි අමා මම යන්නම්.උඹ මොකද දැන් කරන්න හදන්නේ?

" මම  ලීව් දාලා බෝඩිමට යනවා. උඹ හවස වරෙන්. විස්තර පස්සේ කියන්නම්.

"හරි හරි කෙල්ලේ පරිස්සමට පලයන් මම හවස එන්නම්.

ඇයගෙන් සමුගෙන  කාර්යාලයට පැමිණි මම සතියක නිවාඩු පෝරමයක් පුරවා අදාළ නිලධාරියාගේ අනුමැතිය සඳහා යොමු කලෙමි.අනුමැතිය ලැබීමටත් පෙරම මාගේ අවශ්‍යතාවය කාර්යාලයේ සිටි කාර්යාල සහායකයාට පවසූ මම  විවේකාගාරයට ගොස් මාගේ අත් බෑගය රැගෙන නිල ඇඳුම පිටින්ම මඟට බැස්සෙමි. ඉන් අනතුරුව මා නවාතැන් ගෙන සිටිනා බෝඩිමට පැමිණෙන තුරුම මග දිගට වූ කිසිවක් ගැන හෝ හමුවූ කිසිවෙක් ගැන මා හට නිනව්වක් නැතත් ඔහු හා මා අතර ඇතිවූ අතීත සිදුවීම්, සිතුවම් පටක් මෙන් මනසේ දිග හැරෙන්නට විය.



( ලබන සතියට )

6 comments:

  1. ආරම්භය ගොඩක් ලස්සනයි..
    ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා.. ‍ගොඩක් ආසාවෙන්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහෝම. ඉක්මනටම දෙන්නම්කො අනිත් කොටසත්.

      Delete
  2. හොදායි...

    ඉතිරියත් හැම එකාම ලියන ආරට නැතුව ලයවේවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තවත් එක් "ආදර කතාවක් "නොවේ. ස්තුතියි සෑම්.

      Delete
  3. අපූරුයි.ඉතිරියත් ලියන්නකෝ ඉක්මනින්ම :)

    ReplyDelete
    Replies
    1. හැකි විගසින් ලියන්නම්. ස්තුතියි ඔබටත් මේ ඉසව්වට ගොඩ වැදුනට.

      Delete