Friday, 25 May 2012

තාත්තාට සෙනෙහසින්

සමනල පිහාටුවක් මත
කාලය විසින් තැබූ බර
මහමෙරකටත් වැඩි බව
නොතෙරුනේ ඇයි ඔබට.

වෙනදා මටම හිමිව තිබුණු
ලෝකයටම වඩා මට වටින
ඔය අතේ එල්ලිලා ආයෙමත්
හුරතල්වෙන්නට හිතුනාට

අප අතරට නොසිතූලෙස පැමිණ
අදෘශ්‍යමාන පවුරක් ඉදිකල
ආගන්තුකයා ගැන උපන්
මා පෙලන අහිංසක ඊරිසියාව

ඔබේ අත අල්ලාගෙන යන
ඇය යනකොට හුරතලෙන්
නගන කිංකිණි හිනාව
පුංචි මට ඔච්චමක්ම වුනු බව

ඔබලාට යාර ගණනකට පසුපසින්
මගේ පාඩුවේ හිමිහිට ඇවිදින මට
පය ඉක්මන් කරන්නට යයි කී ඔබට
දැනුනාද ඇය මගේ පපුව මත ඇවිදින බව

ලෝකෙටම ලොකු දුව වුනාට
මම තාම ඔබේ පුංචි දෝණි බව
වැටහුනේ නැතිද  තාත්තේ ඔබට
උද්දිකාරෝකියා දෙපා වඳිනකොට මම.

(දිලීප මංගල මිතුරාගේ සේයාරුවක් වෙනුවෙන් උපන් සංකල්පනාවකි)





No comments:

Post a Comment