Thursday 10 May 2012

වේළුපිල්ලේට ලියමි

වේළුපිල්ලේ,
දැන්වත්  බලාපන්
එකම එක ඇසක්වත්
විවර කරලා මේ පැත්ත.
කෙම්මර පද වලට,
කෝල්මුර ගැයෙන හඬට,
සනීපෙට නින්ද යනවා තමයි.
ඒත් බලාපන් එකම එක ඇහැක්වත්
විවර කරලා විමසිල්ලෙන්.
උඹේ භක්තිවන්තයින්ට
නොමිලේම දුන්නු  පිහිට
අජීවී මොනරුන්ගේ පිහිටෙන්
හොරපාරේ විකිනෙනකොට,
දහසින් බැඳී පියලි වලින් මිල
සුවඳ දුම් උරන ගැටවරයින්
සැරිසරනවා එලොව මෙලොව.
විමසිල්ලෙන් අහන් ඉඳපන්
උඹේ සවන්පත් දුසිමෙන්ම
හළඹ හඬවන හඬට යටවුනු
හෝරා ගණනට මිල කෙරෙන
කන්‍යාවන්ගේ හදවත් හඬන හඬ.
වේළුපිල්ලේ,
හනික වරෙන් ඔය මළ බැඳුනු
වේලායුධයත් පනපොවාගෙනම
ඇසල පෝයට කලින්.
එහෙම නොවුනොත් මෙදා පාරත්
ඇසල මංගල්ලයදාට
ආලත්ති අම්මලා බුලත් කෙල ගසාවි.
හැබැයි,
උඹේ මුහුණට.

No comments:

Post a Comment